1. ගමේ විත්ති



මායිම්පත්තුව ගම්මානයේ එක පසකින් ගලා ගියේ දැකුම්කළු ඔයකි. ඔයේ එක් ඉවුරක ගම්මානය පිහිටි අතර අනෙක් ඉවුර වැසී ගියේ මහ ඝන වනාන්තරයකින් ගහන වූ කඳුකරයකිනි. ගම් පෙදෙසෙහි ඉවුරු තෙරේ එතරම් ගෙවල් දොරවල් නොතිබුනද, ඔයෙන් හැතප්මක් පමණ වන්නට ඕනෑ තරම් ගම් වැසියන් පදි‍ංචි වී සිටියහ. කඳුගැට අතරින්  ඇදී ගිය ඔය  ගම වටා වක්වී ගියේ ගමට යාමට ඒමට එක් මගක් පමණක් ඉතිරි කරමිණි.

ගග වටා ඔයේ ඉවුර කුළු පවුරු ගහනව රළු වුවත්, ගම අතහැර කදුබට අතරින් ගලන මායිමේ කදිනම් තොටුපලක් විය. ගමේ කොල්ලෝ කුරුට්ටෝ එහි නිතරම දිය කෙලින්නට ගියේ මාපිය කැමැත්තෙන් නම් නොවේ. පාසල් ඇරී කැලේ මැදින් උන්ම සාදාගත් රහස් අඩිපාරකින් එන පොඩිඋන් තොටුපලට අඩිය තැබීමට පෙර විපරම් කර බැලුවේ එහි ගමේ ලොකු ඈයෙක් ඉන්නවාද කියාය. ගම් වැසියන් මෙම තොටුපලට වැඩි කැමත්තක් නොදක්වන්නේ ඒ අවට ඔය ඉතාමත් ගැඹුරු බැවිනි. මැදිවියේ ගැමියන් සුලබව දෙඩුවේ තොටුපලේ නෑමට ගොස් බිල්ලට අසුවුනු තම ළමාවියේ මිතුරු මිතුරියන් ගැනය. ඔවුන්ගෙන් පරම්පරාවකටත් පසුව තොටුපලට යාමට ඒමට නැවතත් පුරුද්දක් කරගත් ගැටවරයන් ගැන ඉදහිට අසන්නට ලැබුනත් එහි ගිය එකෙක් ගැමියෙකුට අසුවී නොමැත. ඉතාමත් රහසිගතව, ගමේ අඩිපාරවල් මගහැර කැලේ මැදින් යන්නට පොඩිඋන් පුරුදු වී ඇත්තේ මාපියන්ට අසුවුවහොත් ලැබෙන ගුටි පහර ගැන ඉතා හොදින් දන්නා බැවිනි.

තොටුපලේ මෙන්ම ගමේද මායිම සනිටුහන්වූයේ කදුගැටයකිනි. එතෙරද මෙතෙරද දෙපසෙහිම වූ කදුගැට දෙකින් පටුවූ ඔය ගම හැර ගියේ තරමක් වේගයෙනි. මායිමේ වූ කදුගැට අතරින් ඇදීගිය ඔය වනවැදුනු කදුපන්තිය තුලට රිංගා ගියේ වනය ඔය ගිලගත් සෙයිනි. ගම්මායිමේ කදුගැටය එම වනයේ කෙලවර විය.

තොටුපලට ඇදෙන ගැටවරයන් බොහෝ දෙනෙක් ඔයේ පැන නෑමට හා පිහිනීමට ප්‍රිය කලමුත් ඉදහිට එකෙකු දෙන්නෙකු කැලේ හංගා ගිය ඔරුවක් ඇදගෙනවිත් ඔයේ එහා ඉවුරට පැද ආවේ පිහිනන කොලුවන්හට තම උජාරුව පෙන්නමිනි. පහුගිය අවුරුද්දක නිවාඩුවට එකතු වූ වැඩිමල් කොල්ලන් සිවුදෙනකු තොටුපල ලගට ඇදගෙන ආ ලී කොටන් පලා සෑදූ ඔරුව කිහිපවතාවක්ම ගිලෙන්නට ගියද, ඒ සෑම වතවාකම එය ඉවුරට ඇදගෙන පිළිසකර කරගැනීමට ඔවූහු සමත් වූයෝය.










Comments